පිරිත යනු කුමක්ද...පිරිත යන වචනයට අටුවා ධර්ම ග්‍රන්ථයන්හිදී ලබාදී ඇති අර්ථ කථනය නම් " මහා තෙජවන්තාය සමන්තතො සත්තානං තායතී රක්ඛතීති පරිත්තං '' තේජවන්ත බැවින්, සත්ත්වයින් හට පැමිණෙන උවදුරු දුරු කරලන බැවින්, පරිත්ත නම් වේ. " පරිසමන්තතො තායති රක්ඛතීති පරිත්තං හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් පරිත්ත නම් වේ. " අන්තරායං පරිහරන්තං තායතීති පරිත්තං" අනතුරු වළක්වාලමින් ආරක්ෂාව ලබා දෙන බැවින් පරිත්ත නම් වේ. " පරිතොවා සබ්බුපද්දවතො තායතීති පරිත්තං" හාත්පසින් සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන බැවින් පරිත්ත නම් වේ. මෙකී සියලු නිර්වචනයන්ගේ සංක්ෂිපත අදහස නම් පිරිත යනු හාත්පසින් එන උපද්‍රවයන් දුරලන ආරක්ෂාව බවයි. 'පරි' පූර්ව 'ත්‍රා' ධාතුවෙන් මෙම වචනය සෑදී ඇත. පරිත්‍රාණ, පරිත්ත, පිරිත යන පද තුනම මේ සඳහා භාවිතා වේ. පරිත්‍රාණ යනු සංස්කෘත භාෂාවෙන් කරනු ලබන ව්‍යවාහාරය යි. පරිත්ත යනු පාළි භාෂාවෙන් කරනු ලබන ව්‍යවහාරය වන අතර පිරිත යනු සිංහල භාවිතයයි. මේ වචන තුනම එකම අර්ථයක් හැඳින්වීම සඳහා භාවිත කරනු ලැබේ.

පිරිතේ ඉතිහාසය

පිරිතේ ඉතිහාසය ඉතා දිගු කාලයකට හිමිකම් කියයි. පිරිතේ භාවිතය බුද්ධෝත්පාද කාලයන්හි මෙන්ම අබුද්ධෝත්පාද කාලයන්හිදී ද සිදුවී ඇති බව පෙළ දහමින් උගත හැකිය. බුද්දක නිකායේ එන ජාතක පාළියට අයත් ( පන්සිය පනස් ජාතක පොතෙහි 95 හා 131 වෙනි ජාතක) තේලපත්ත ජාතකය හා පංචගරුක ජාතකය මිනිසුන් අබුද්ධෝත පාද කාලයන්හිදී පවා පිරිතේ ආරක්‍ෂාව ලැබූ බවට නිදසුන්ය. සමාන කතාද්වයක් වන එහිදී අමනුෂ්‍ය බියෙන් ආරක්ෂා වීමට බෝධි සත්වයෝ පිරිත් ධර්මය භාවිතා කර ඇති අතර සංක්‍ෂිප්තව එම කතාව මෙසේය. බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු, රාජ්‍යය විචාරන කාලයේදී බෝධි සත්ත්වයෝ එම රජතුමන්ගේ සියක් පුතුන් අතුරින් බාලම පුතණුවන් වූහ. දිනක් පසේ බුදුන් වහන්සේ නමකට දන් දුන් බෝසතුන් වහන්සේ තමන්ට මෙම රාජ්‍යයෙහි රජකම කවර දිනකදී ලැබෙන්නේ දැයි විමසීය. එවිට පසේ බුදුරදුන්, ජීවතුන් අතර සිටිනා කාලය තුලදී මෙම රාජ්‍යයෙහි රජකම නොලැබෙන බවත් දින සතක් ඇතුළත තක්ෂිලා නුවරට යා හැකි නම් එනුවර රජකම ලැබෙන බවත් කීහ. නමුත් එම ගමන අමනුෂ්‍ය ග්‍රහණයෙන් යුතු මහා භයංකර කාන්තාර ප්‍රදේශයක් පසුකර යා යුතු විය. බෝධිසත්වයෝ පසේ බුදුරජාණන් වහන්සේ විසින් පිරිත් කොට සකස් කර දෙන ලද පිරිත් පැන්, පිරිත් නූල් හා පිරිත් වැලි ද රැගෙන තවත් පස් දෙනෙකු සමග පිටත්වූහ. අතරමගදී එම පිරිස යක්ෂණියන් විසින් කා දමන ලද නමුත් පිරිත් බලයෙන් තම ආරක්ෂාව තහවුරු කර ගනිමින් තක්ෂිලා නුවරට ගමන් කොට එහි රජකම ලබා ගත්තේය. බුද්ධෝත්පාද කාලයන්හිදී බුදුරජාණන් වහන්සේලා විසින් මෙම පිරිත් ධර්මය දේශනා කරන්නාහ. පිරිත වනාහි ශ්‍රාවක භාෂිතයක්, දේව භාෂිතයක් හෝ ඍෂි භාෂිතයක් නොවන්නේය. පිරිත සර්ව සම්පූර්ණයෙන්ම සුපිරිසිදුව හා මනාව බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද බුද්ධ භාෂිතයක්මය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයෙහිදී ද ආරක්ෂාව හා උපද්‍රවයන්ගෙන් මිදීම පිණිස පිරිත් දේශනාව සිදු කළ බවට සාධක කිහිපයක් මෙලෙස ය.
01. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී බුදුරජාණන් වහන්සේගෙන් අර්හත්වය සඳහා කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා වනයට ගිය 60 ක් පමණ භික්ෂූන් වහන්සේලාට එම වනයෙහි විසූ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් පැමිණි භයානක උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහාත්, භාවනා කටයුතු සඳහා කමටහනක් ලෙසත් කරණීයමෙත්ත සූත්‍රය දේශනා කර ඇත. එය ද ආරක්ෂක පිරිත් ධර්මයක් ලෙසින් හැඳින්විය හැකිය.
02. විශාලා මහ නුවර ඇති වූ රෝග බිය, අමනුෂ්‍ය බිය හා දුර්භික්‍ෂ බිය යන තුන්බිය දුරුකිරීම සඳහා වජ්ජින්ගේ ආරාධනයෙන් විශාලා මහා නුවරට වැඩම කළ බුදුන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ ඇතුළත් රතන සූත්‍රය උගන්වා එම තුන්බියෙන් මුදවනු පිණිස ආරක්ෂාව සලසමින් රතන සූත්‍රය දේශනා කළහ. ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පාත්‍රා ධාතුවෙහි අඩංගු පිරිත් වතුර විශාලා මහා නුවර පුරාම රතන සූත්‍රය සජ්ඣායනා කරමින් නගරය පිරිත් පැන් ඉස සුරක්ෂිත කළහ. අනතුරුව එතෙක් පැවති තුන් බිය පහ වී සියලු දුක් නිම වී සෞභාග්‍ය උදා වූ බව දහමෙහි සඳහන් ය.
03. එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුන් සර්පයෙකු විසින් දෂ්ට කිරීමෙන් මරණයට පත් විය. එහිදී බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිස සියලු සතුන්ගෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් මිදෙනු පිණිස ඛන්ධ පිරිත දේශනා කළහ.
04. ජාතක පොතෙහි එන ස්වර්ණමයුර ජාතකයෙහි සඳහන් ආකාරයට බෝධිසත්ත්වයන් වහන්සේ මොණරෙකුව ඉපිද සියලු සත්ත්වයන්ගෙන් වන උපද්‍රවයන් දුරුකර ගැනීම පිණිස භාවිතා කළ පිරිත් සූත්‍ර ධර්මය මෝර පිරිතය.
05. රාහු අසුරයාගෙන් තමන්ට විපත් පැමිණි අවස්ථාවන්හිදී සුර්ය දිව්‍ය රාජයා හා චන්ද්‍ර දිව්‍ය රාජයා බියපත්ව බුදුගුණ මෙනෙහි කරමින් බුදුන් හමුවට පැමිණ තමන් පත්ව ඇති අසරණ භාවය පැවසීය. එවිට සුර්ය මණ්ඩලය හා සඳ මණ්ඩලය මුදන ලෙස රාහු අසුරයාට බුදුරජාණන් වහන්සේ විසින් කියන ලද ගාථාවන් අඩංගු සූත්‍ර ධර්මය චන්ද පිරිතෙහි හා සුරිය පිරිතෙහි අඩංගු ය.
06. සුර අසුර යුද්ධය පිළිබඳ අතීත කතාවක් අරමුණු කරගනිමින් බුදුන් වහන්සේ විසින් දේශිත ධජග්ග සූත්‍රය ද සෘජුවම අන්තරායකර
07. පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුළත් බොජ්ඣංග පිරිත් දේශනා තුනකි. කස්සප,මොග්ගල්ලාන, චුන්ද නම් එම බොජ්ඣංග පිරිත් සූත්‍ර තුන ද බුදුරදුන් සමයේදී දේශිත ආශීර්වාදය හා සෙත ශාන්තිය අරමුණු කරමින් හා විශේෂයෙන් රෝගපීඩාවන්ගෙන් සුවය ලැබීම පිණිස දේශිත පිරිත් දේශනාවන්ය. මුගලන් මහ රහතන් වහන්සේ ගිලන් වූ අවස්ථාවක බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනය මොග්ගල්ලානත්ථෙර බොජ්ඣංගයයි. කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිලන් වූ අවස්ථාවක බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනය කස්සපත්ථෙර බොජ්ඣංගයයි. එසේම බුදුරජාණන් වහන්සේ ගිලන්ව වැඩ සිටි අවස්ථාවක චුන්ද හිමියන් විසින් දේශිත සූත්‍රය චුන්දථෙර බොජ්ඣංගයයි.
08. ගිරිමානන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් රෝග පීඩාවන්හිදී එයින් සුවය ලැබීම පිණිස දේශිත තවත් එක් සුවිශේෂී පිරිත් සූත්‍රයකි. ගිරිමානන්ද හිමියන් ගිලන්ව සිටි මොහොතක, බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට දේශනා කරන ලදුව පසුව ආනන්ද හිමියන් එම සූත්‍රය, ගිරිමානන්ද තෙරුන් සමීපයෙහි සිට දේශනා කළ විට එය ශ්‍රවණය කළ උන්වහන්සේ සුවපත් වුහ.
09. අමනුෂ්‍ය කරදර පීඩාවන්වන්ගෙන් ආරක්ෂා වීමට සුවිශේෂී පිරිත් සූත්‍රයක් වන ආටානාටිය සූත්‍රය ද පිරිතක් වශයෙන්ම භාවිත වන සූත්‍ර ධර්මයකි. ධර්මයට කැමති උසස් අමනුෂ්‍යයන් මෙන්ම ධර්මයට අකමැති උසස් අමනුෂ්‍යයන් ද සිටිති. ධර්මයට අකමැති අමනුෂ්‍යයෝ බුද්ධශ්‍රාවක සිවුවනක් පිරිසට විවිධාකාරයෙන් කරදර දුක් විපත් ගෙන දෙති. චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට අධිගෘහිත සතරවරම් දෙවියන් විසින් බුදුරදුන් හමුවෙහි කරන ලද දේශනයකි ආටානාටිය. ඔවුන් විසින් ආරාධිත බුදුහිමියෝ භික්ෂූන්ට දේශනා කරන ලදි. කිසියම් අමනුෂ්‍යයෙකු විසින් පීඩාවන් ඇතිකරන කරදරකාරී අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය, එවැනි යකුන්ට යක්ෂ සමාගමෙන් දෙනු ලබන දඬුවම් ආදී දීර්ඝ විස්තරයක් මෙම සූත්‍ර දේශනාවෙහි අඩංගුය.
10. දීඝායු කුමාරයා අවරුද්ධක නම් යක්ෂයා විසින් මරණයට පත් කරවන්නට තිබියදී බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව රහතුන් වහන්සේලා දොළොස් නමක් වැඩමවාගෙන නගර මධ්‍යයේ පිරිත් මණ්ඩපයක් සකස් කරගෙන පුරා සතියක කාල පරාසයක් තිස්සේ පිරිත් ධර්මය සජ්ඣායනා කරන්නට විය. අවසාන දිනයෙහි බුදුරජාණන් වහන්සේද එම පිරිත් මණ්ඩපයට වැඩම කොට පිරිත් ධර්මය සජ්ඣායනා කරන්නට වූ අතර එම නිසා විවිධ මහේශාක්‍ය තත්වයකදී පරිහරණය කිරීම පිණිස ආරක්ෂක පිරිත් සූත්‍රයක් ලෙස භික්ෂූන්ට දේශිත සූත්‍රයකි. අසුර නිකායික දෙවියන් සමග සුර නිකායික දෙවියන් යුද්ධ කිරීමට සුදානම් වන ආකාරයත් එහිදී යුද්ධයට යන යම් දෙවියෙකුට බියක් තැතිගැනීමක් ඇති වුවහොත් දිව්‍ය ලෝකයට අධිපතීත්වයන් දරන ශක්‍ර, ඊසාන, වරුණ, ප්‍රජාපතී යන දෙවියන්ගේ ධජයන් දෙස බලන ලෙසත් එවිට එසේ ඇති වූ බිය තැතිගැනීම දුරුවන බවත්, ශක්‍ර දෙවියන් සියලු දෙවියන්ට පැවසූහ. මෙය නිමිතිකරගෙන බුදුරජාණන් වහන්සේ විසින් එය එසේ නොවන බවත් එයට හේතුව ඒ දෙවිවරුන් රාග, ද්වේශ, මෝහයන්ගෙන් යුක්තවන නිසා බවත් දේශනා කළහ. නමුත් යමෙක් රාගාදී කෙලෙස් නැසූ බුදුරජාණන් වහන්සේ ද ස්වාක්ඛාත වූ ධර්ම රත්නය ද සුපටිපන්න වූ සංඝ රත්නයද සිහිපත් කරයි නම් එවිට පමණක් ඔහුට ඇති වූ භය තැති ගැන්ම දුරුවන බවත් මෙම සූත්‍රයෙන් පැහැදිලි කොට වදාළහ. දෙවි දේවතාවන්ගේ පැමිණීමද සිදුවිය. පිරිත් මණ්ඩපය මැද කුමාරයා තබා ඔහු වටා රහතුන් වහන්සේලා හා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරමින් පිරිත් ධර්මය දේශනා කළ නිසාත් දීඝායු කුමාරයාට ජීවිත ආරක්‍ෂාව ලැබුණේය. දින සතකින් මරණයට පත්වන්නට සිටි කුමාරයාට වසර 120 ක් ආයු වින්දනය කිරීමේ හැකියාව ලැබිණ.
11. පිරිතේ ඉතිහාසය පිළිබඳ කතා කිරීමේදී තවත් එක් වටිනා සාධකයක් ලෙස විජයාගමනය හා බැඳි කතා පුවත සඳහන් කළ යුතුමය. සිංහල ජාතියේ ආරම්භය සිදුවූ ආකාරය පිළිබඳව විවිධ අදහස් පැවතිය ද එය විජය කුමරුවන්ගේ ආගමනය සමග සිදුවූවක් බව බහුතර පිළිගැනීමයි. විජය කුමරු ලක්දිවට ගොඩබසින ලද්දේ ද පිරිත් පැන් පිරිත් නූල් ලබමින් ආරක්‍ෂා සහිතවය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ හිඳිමින් සක්‍ර දෙවිඳුන් අමතා මෙසේ නියෝග කර සිටියහ. " පතිට්ඨිස්සති දෙවින්ද ලංකායං මම සාසනං තස්මා සපරිවාරං තං රක්ඛ ලංකඤ්ච සාධුකං ” සක්දෙව් රජුනි, ලක්දිව මාගේ ශාසනය පිහිටන්නේ ය. එබැවින් පිරිවර සහිත ඔහුද (විජය කුමරු) ලංකාවද මැනවින් ආරක්‍ෂා කරව’ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන දිනයේදීම විජය කුමරු ඇතුළු පිරිස ලක්දිව බලා ගමන් කරමින් සිටි අතර සක්‍රදෙවියෝ තමන්ට බුදුහිමියන් පැවරූ කාර්‍ය්‍යය උප්පලවණ්ණ දෙවියන්ට පැවරූහ. ක්‍ෂණයකින් ක්‍රියාත්මක වූ උපුල්වණ් දෙවියෝ පරිබ්‍රාජක වේෂයක් මවාගෙන ලක්දිවට පැමිණ රුක්මුලක හුන්හ. විජය ඇතුළු පිරිස ඔහු වෙත පැමිණ මේ කිනම් දේශයක්දැයි විමසූ අතර මෙය ලංකාද්වීපය බවට පිළිතුරු ලැබිණ. එසේම මෙය මිනිසුන් වසන දිවයිනක් නොවන මුත්බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බව පැවසූ උපුල්වණ් දෙවියෝ "ඉති වත්වා කුණ්ඩිකාය සීසෙ ජලෙන සිඤ්චයී සුත්තං හත්ථෙසු දත්‍වාන ලංගිත්වා නභසාගමා” කෙණ්ඩියෙන් පිරිත් පැන් ගෙන ඒ පිරිසෙහි හිසෙහි ගල්වා අත්වල පිරිත් නූල් බැඳ අහසට නැඟී ගියේ ය. (මහාවංශය සත්වන පරිච්ඡේදය)

පිරිතේ භාවිතය

පිරිත යනු ´ගහට පොත්තත් පොත්තට ගහත්’ මෙන් මිනිස් ජන ජීවිතය සමගින් ඒකාබද්ධව පවතින ආධ්‍යාත්මික ආශීර්වාදයකි. තිඹිරිගෙයි සිට මරණ මංචකය දක්වා ජීවිතයේ සෑම මංගල සම්මත අවස්ථාවක් ම පිරිත් ආශීර්වාදය මධ්‍යයේ කිරීමට බෞද්ධයෝ පුරුදුව සිටිති. අදත් මංගල පොරුවට නගින නව යුවලට ආශීර්වාද කරන්නේ ජයමංගල ගාථා සජ්ඣායනයෙනි. ඔවුන්ගේ දෑඟිලි එකිනෙකට බැඳෙන්නේ පිරිත් නූලෙනි. අනතුරුව ගැබිනි මවුතොමේ ප්‍රසූතියට මත්තෙන් තමන්ටත් කුසතුළ හොත් දරුවාටත් ආශීර්වාද ලබාගන්නේ අංගුලිමාල පිරිතෙනි. එපමණක් ද නොව එලෙස බිහිවූ දරුවාගේ ඉඳුල්කට ගාන්නේ, අකුරු කියවන්නේ හා ජීවිතයේ සෑම මංගල සම්මත විශේෂ අවස්ථා සියල්ලම සිදුකරන්නේ පිරිතේ ආශීර්වාදය මැද ය. අසනීපයක් වූ අවස්ථාවකදී ද පිරිත් ආශීර්වාදය ඔවුන්ට ඉමහත් බලයකි. නිවසකට මුල්ගල් තබා වැඩ අරඹන්නේ ද ව්‍යාපාරික කටයුත්තක් හෝ වේවා අන් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් පිහිට පත්නනේ පිරිතෙනි. එය බුදුදහමටත් වඩා සිංහල සංස්කෘතිකමය අංගයක් වී හමාරය. වෙනෙකක් නොව සිංහල බෞද්ධයෙකු මියගොස් ආදාහනය කළ විට ඉතිරිවන මිනී ඇටකටු සහිත අළුගොඩට ඉසින්නේත් පිරිත් පැන් ය. දුටුගැමුණු රජු දෙමළුන් සමග යුද්ධයට ගියේ පිරිත් සජ්ඣායනා මැදය. ඔහු විසින් නිරන්තරයෙන් භාවිත කළ හා රන්පතක ලියා ඔටුන්නේ තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ "බුද්ධො තිලොක සරණො....." ආදී පිරිත් ගාථා තුන බෞද්ධයින්ට ද මනාව හුරු පුරුදුය. සිංහල බෞද්ධයා නින්දට යන්නේ පිරිත් කියමින් ය. නින්දෙන් අවදි වන්නේ ද එලෙසය. බියක් තැතිගැන්මක් ඇති වූ විට පමණක් නොව ඉපැරණි අම්මලා සිහිනෙන් බියවන තම දරුවන්ට අවවාද කළේ පිරිත් කියා නිදාගන්නා ලෙසටය. එය නිවැරදිම බෙහෙතකි. පිරිත් කියා නින්දට ගිය විට කිසිදු සිහිනයක් නොපෙනෙන අතර සුවපත් නින්දක් ලැබිය හැකිය.

පිරුවානා පොත් වහන්සේ හා සතර බණවර

ශ්‍රී සද්ධර්මය ධර්ම විනය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. ධර්ම සංගායනාවන්හිදී මහතෙරුන් ‌වහන්සේලා විසින් සූත්‍ර, විනය, අභිධර්මය ලෙසින් කොටස් ත්‍රිත්වයකට එම දහම ම බෙදා වෙන් කරන ලදි. එසේ බෙදා වෙන්කළ සූත්‍ර පිටකයෙන් උපුටා ගන්නා ලද ධර්ම කාණ්ඩ විසිනවයක් (29) සංග්‍රහ කිරීමෙන් "මහ පිරිත් පොත” හෙවත් "පිරුවානා පොත් වහන්සේ” සකස් කොට තිබේ. බණවර (භාණවාර) නමින් හැඳින්වෙන පරිච්ඡේද හතරකට බෙදා ඇති හෙයින් මෙම පොත සතර බණවර හෙවත් "චතුභාණවාරපාලි" නමින් ද හැඳින්වේ. ප්‍රවෘජ්ජාවට පත්වීමේ අදහසින් පැමිණෙන කුල දරුවන් විසින් අවශ්‍යයෙන්ම වනපොත් කළ යුතු දහම් කොටස් ඇතුළත් වන හෙයින්ද මෙම පොත "පිරුවානා පොත් වහන්සේ” නමින් හැඳින්වූ බව සිතිය හැකිය. පස්වන කාශ්‍යප මහරජු විසින් කරවන ‌ලද ජේතවනාරාම පුවරු ලිපියෙහි’ "මහණ් කරත් පිරිත් සතර බණවර් පිණිස් කළවූවන්ම මහණ කරණු ඉසා” යනුවෙන් සටහන් කොට ඇත. ‛මහණ කරන්නේ නම් පිරිත් සතර බණවර පුහුණු වූවන් ම මහණ කළයුතු’ බව මින් අදහස් වෙයි. මෙසේ අතීතයේ සිටම පිරිත් පොත සමඟින් සුවිශේෂී ආකල්පමය බැඳීමක් තිබී ඇති බව පැහැදිලිය. චතුභාණවාරපාළියට අසරණ සරණ වැලිවිට සංඝරාජ මාහිමියන් විසින් ලියූ සාරාර්‍ථදීපනී නම් සන්නයක් ද ඇත. දඹදෙණි පැරකුම් සමයෙහි පස්මුළ පිරිවෙන්පති හිමියන් ද පිරිත් කතිකාවතක් කළ බව ද සඳහන් ය. සතර බණවරට අයත් නොවන අතිරේක සූත්‍ර හතක්ද මහ පිරිත් පොතට අයත් ය. එනම්, ධම්මචක්ක, මහාසමය, පරාභව, ආලවක, වසල, කසීභාරද්වාජ, සච්චවිභංග යන සූත‍්‍ර හත යි. එම අතිරේක පිරිත් කාණ්ඩය කිකලෙක එකතු වූවාදැයි නිශ්චිතව කිව නොහැකි වුව ද එයත් සමග පස් බණවරක් වෙයි. මහායාන සම්ප්‍රදායේ බලපෑම මත පිරිත් පොතට ඇතුළත් වන්නට ඇතැයි ඇතමුන් සැකකරන පිරිත් සූත්‍ර කිහිපයක් ද මහ පිරිත් පොතහි අඩංගුය. ඉසිගිලි, මහාසමය, ආටානාටිය, චන්ද, සුරිය, මෝර ආදිය එම පිරිත් සූත්‍රයන් ය. කෙසේ වුවද සතර බණවරට අයත් සියලු ධර්ම කොටස් සූත්‍ර පිටකයට අයත් නිකාය ග්‍රන්ථ පහට අයත්ය. සතර බණවරෙහි අන්තර්ගතය සැකෙවින් මෙසේ ය. එක් පාදයකට අකුරු අට බැගින් පාද සතරට අකුරු තිස් දෙකක් වන ගාථා දෙසිය පනහකි. අකුරු ගණනින් අක්‍ෂර අටදහසක් එක් බණවරකි. එනයින් සතර බණවරට අයත් අකුරු තිස්දෙකේ ගාථා දහසකි (1000). අකුරු තිස්දෙදහසකි (32000). සතර බණවරට අයත් වනුයේ පිරිත් සූත්‍ර පමණක් නොවේ. සරණාගමනය, දස සික්‍ෂාපද, සාමණේර ප්‍රශ්නය, ද්වත්තිංසාකාරය ආදිය ද ඇතුළත් ය. ඉසිගිලි සූත්‍රය මජ්ඣිම නිකායට ද, මහා සමය හා ආටානාටිය සූත්‍ර දීඝ නිකායට ද, මොර පිරිත් ජාතක පාළියට ද ඇතුළත් වේ. සරණාගමනය, දස සික්ෂාපද, ප්‍රශ්නය, ද්වත්තිංසාකාරය, මංගල, රතන, කරණීයමෙත්ත, පරාභව, ආලවක, වසල යනාදී සූත්‍ර ඛුද්දක නිකායටද ප්‍රත්‍ය වේක්ෂා සතර හා දස ධම්ම, බන්ධ, මෙත්තානිසංස, ගිරිමානන්ද යන සූත්‍ර අංගුත්තර නිකායට ද අයත් ය. කසීභාරද්වාජ සූත්‍රය සංයුත්ත හා ඛුද්දක යන නිකායද්වයට ම අයත්ය. ධජග්ග සූත්‍රය හා බොජ්ඣංග සූත්‍ර තුන ද ධම්මචක්ක පවත්තන සූත්‍රය සංයුත්ත නිකායට අයත් වෙයි. සච්ච විභංග සූත්‍රය මජ්ඣිම නිකායෙහිද මිත්තානිසංස සූත්‍රය ජාතක පාළියෙහිද අන්තර්ගතය.

පිරිතෙහි ආනිශංස

පිරිතෙන් ලැබිය හැකි ආනිශංස මෙපමණකැයි ප්‍රමාණ කොට දැක්විය නොහැක. ඉහතදී දැක්වූ පරිදි ජීවිතයේ සෑම මංගල සම්මත අවස්ථාවකදීම පිරිත මුල්කොට ගන්නේ එහි ඇති ආනිශංස පිළිබඳ ඇති අවබෝධය නිසාමය. මිනිස් ජීවිතය කෙරෙහි අදෘෂ්‍යමානව පිහිටට එන ආධ්‍යාත්මික ශක්තියක් ලෙස පිරිත හැඳින්වීම වටී. පිරිත් දේශනයකට මත්තෙන් පිරිතට ආරාධනා කරන ගාථාවන්හි පිරිතෙන් ලැබිය හැකි ආනිශංස පිළිබඳ පැහැදිලි අදහසක් ගැබ්ව පවතී. පිරිත් ආරාධනාව සිදු කරනුයේ මෙසේ ය.

"විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසය පරිත්තං බ්‍රෑත මංගලං විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාසාය පරිත්තං බ්‍රෑත මංගලං විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රොග විනාසාය පරිත්තං බ්‍රෑත මංගලං"

මෙම ගාථා ත්‍රිත්වයෙන් අදහස් වන අයුරින් සියලු විපත් දුරු කරනු පිණිසත්, සියලු සම්පත් සමෘද්ධිය පිණිසත්, සියලු දුක්, සියලු භය, සියලු රෝග විනාශනය පිණිසත් පිරිත් ධර්මය දේශනා කරන ලෙසට ආරාධනා කර සිටී. පිරිත් දේශනාවෙහි අඩංගු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන්ගේ අනන්ත ගුණයන්ය. එම ත්‍රිවිධ රත්නයෙහි ගුණයන් වනාහි පරම සත්‍යය ධර්මතාවයක් වන්නේය. එය ලෝකයේ කිසිවෙකුටත් කිසිම අවස්ථාවක අසත්‍ය යැයි ප්‍රකාශ කළ නො හැකිය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්නට ලැබෙන අනන්ත වූ නව අරහාදී බුදු ගුණයන්ද ධර්ම රත්නයෙහි දක්නට ලැබෙන ස්වාක්ඛාතාදී දහම් ගුණයන්ද මහ රහතුන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නය තුළ දක්නට ලැබෙන සුපටිපන්නතාදී අනන්ත ගුණයන්ද එක් කොට මෙම පිරිත් ධර්මය දේශනා කර ඇත. එය සත්‍යය කි. 'එතෙන සචෙචන සුවත්ථි හොතු’ මේ සත්‍ය වචනයේ බලයෙන් යහපතක් වේවා යන සත්‍ය ක්‍රියාව පිරිත මගින් සිදුවේ. තවද රෝග බිය දුරු කිරීමට, දුර්භික්ෂ බිය දුරු කිරීමට, අමනුෂ්‍ය බිය දුරුකිරීමට, සිතෙහි ඇතිවන බිය තැතිගැනීම දුරුකිරීමට, තුණුරුවන්ගේ ආරක්ෂාව හා ආශීර්වාදය ලබා ගැනීමට, පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන දෙවියන්ගේ ආශීර්වාදය හා ප්‍රිය බව ලැබීමට, සිතෙහි නිරාමිස සැනසීම හා සතුට ඇතිකිරීමට, සත්ත්වයින්හට ප්‍රිය වීමට, ආයු වර්ධනයට ආදී බොහෝ ආනිශංස ලැබගැනීමට පිරිත හේතුවන බව සිහිකටයුතුය.

පිරිත් ප්‍රශ්නය හා පිරිතෙහි ආනිශංස

අට්ඨකතා සාහිත්‍යයටත් වඩා දිගු ඉතිහාසයක් ඇති "මිලින්ද පඤ්ච” නම් කෘතිය පෙර අපර දෙදිග ලෝකයේ විද්වතුන් විසින් මහත් හරසරින් වර්ණිත උසස් ගණයේ ධර්ම ග්‍රන්ථයකි. අශෝක අධිරාජ්‍ය සමයෙන් පසුව අභාවයට ගිය භාරතීය බුදුසසුන නැවත සජීවීකරණය වන්නේ මිනැන්ඩර් හෙවත් මිලින්ද, කණිෂ්ක හා හර්ෂ යන රජවරුන්ගේ කාලයේදී ය. මිලින්ද රජු විසින් නාගසේන නම් මහරහතන් වහන්සේගෙන් විමසන ලද ප්‍රශ්න හා උන්වහන්සේ විසින් දෙනලද පිළිතුරු "මිලින්ද ප්‍රශ්නයේ” අඩංගුය. පිරිත් ප්‍රශ්නය විසිතුන් වෙනි ප්‍රශ්නයයි. (සියල්ල ප්‍රශ්න 95 කි) පිරිත් ප්‍රශ්නය ද පිරිත පිළිබඳව කෙරෙන විමර්ශනයකදී වැදගත් කරුණු රැසක් අවබෝධ කරගැනීමට ප්‍රයෝජනවත් ය. මිලින්ද රජු නාගසේන හිමියන්ගෙන් මෙසේ විමසයි.

"න අන්තලික්ඛෙ න සමුද්දමක්ඛෙ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සො ජගතිප්පදෙසො යත්‍ථට්ඨිතො නප්පසහෙථ මච්චු"

ධම්මපදයෙහි පාප වර්ගයට අයත් ගාථාවක් වන මෙයින් අදහස් වන ආකාරයට සත්ත්වයාට මරණයෙන් ගැලවී සිටීමට භූමි ප්‍රදේශයක් නැත. ආකාශයෙහි ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයක් නැත. මහ මුහුදෙහි හෝ පර්වත විවරයක සැඟවුණද මාරයාට ඒ කිසිවක් බාධාවක් නොවේ. එසේම බුදුරජාණන් වහන්සේ විසින් රතන සූත්‍රය, බන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත .... ආදී පිරිත් දේශනාවන් දේශනා කළ සේක. ඉදින් පිරිත් සූත්‍ර දේශනාවන්ගෙන් මරණයෙන් මිදීමක්, ආයු වර්ධනය කිරීමක් සිදු කරන්නේ නම්, උක්ත ගාථාව වැරදි විය යුතුය. එම ගාථාව නිවැරදි නම් පිරිතෙන් ලද හැකි ආනිසංස වැරදි විය යුතුය. මෙම කරුණු දෙක කෙසේ ගැලපෙන්නේ දැ යි මිලින්ද රජු විමසයි. එවිට නාගසේන හිමියෝ මෙලෙස පිළිවදන් දෙති. මහරජ, අප බුදු රජාණන් වහන්සේ විසින් ධම්මපදයේ එන ඉහත ගාථාවද එසේම පිරිත් දේශනාවන්ද දේශනා කර වදාළ සේක. ඒ වදාළ පිරිත වනාහි සාවශේෂ ආයු ඇති (ඉතිරි වූ ආයුෂ ඇති), වයස් සම්පන්න වූ, පහ වූ අකුසල කර්මාවරණ ඇත්තන්ට ය. මහරජ, ගෙවී ගිය ආයුෂ ඇත්තාහට මරණයට පත් නොවීම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත්තේය. තව දුරටත් තම පිළිතුර උපමාවලින් විස්තර කරන නාගසේන හිමියෝ මහරජාණෙනි, යම්සේ වියලී ගියා වූ, දිරා ගියා වූ, තෙත් ස්වභාවය පහව ගියා වූ, ආයුෂ ගෙවීගියා වූ, මරණයට පත් වූ ගසකට පැන්කළ සිය දහස් ගණනක් වත් කළද එහි තෙත් බවක් හෝ පත්‍ර වර්ධනය වන බවක් හෝ නොවන්නේය. මහරජ, එපරිද්දෙන්ම පිරිත් දේශනාවෙන් ආයුෂ ක්ෂීණ බවට පත් වූවහුගේ ජීවිතය රඳා -පැවැත්ම පිණිස කළ හැකි ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත. මහරජ, සකල පෘථිවියෙහිම යම් බෙහෙතක් ඇත්ද, ඒ සියලු බෙහෙත් ක්ෂීණ ආයු ඇත්තා හට ආයුෂ වර්ධනයට හේතුකාරකයක් නො වන්නේය. මහරජ, වයස් සම්පූර්ණ වූ පහ වූ අකුසල කර්මාවරණ ඇත්තා වූ සාවශේෂ ආයුෂ ඇත්තා වූ පුරුෂයා පිරිත විසින් ආරක්ෂා කරන්නේය. රකින්නේය. ඒ ආයු ඇත්තා උදෙසාම බුදුරජාණන් වහන්සේ විසින් පිරිත අනුදැන වදාළ සේක. මහරජ, යම්සේ ගොවිතැන් කරන්නා වූ ගොවියෙකු ධාන්‍ය පැසුණු කල්හි කරලින් යුක්ත කුඹුරට ජලය යෙදීම වළක්වන්නේය. වැස්සෙන් උපකාර ලබා ඒ තරුණ ගොයම වැඩෙන්නේය. මහරජ, එපරිද්දෙන්ම ක්ෂය වූ ආයුෂ ඇත්තාහට පිරිත් දේශනාව නොකොට තබන ලද්දාහ. වළක්වන ලද්දාහ. වයස් ඇත්තා වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහු හට පිරිත දේශනා කරන ලදී. මේ නිසා පිරිත් දේශනාවෙන් සත්ත්වයෝ මරණයට පත් නොවී ආරක්ෂා වේ යැයි කියන ලදී. මෙම දීර්ඝ විස්තරය මගින් පිරිත් දේශනාවකින් ආනිශංස ලැබිය හැකි පිරිස් පිළිබඳව මනා පැහැදිලි අදහසක් උගත හැකිය. එනම් පිරිත මගින් යමෙකුගේ ජීවිතය කෙරෙහි බලපැවැත්වෙන යම්කිසි අන්තරාවක් ඇත්ද එකී අන්තරාව පහව යන්නේ එම පුද්ගලයාගේ කර්ම ශක්තිය ද හේතුකොට ගෙනය. ආයුෂ අවසන් වීමෙන් මරණයට පත්වන්නට සිටින අයෙකුට ‌කෙතරම් පිරිත් දේශනා කළද එමගින් ප්‍රයෝජනයක් නැත. එය යථෝක්ත පරිදි මියගිය ගහකට වතුර දැමීමෙන් නැවත එම ගස ජීවය නොලබන්නාක් මෙනි. අදටත් මෙම පැහැදිලි කිරීම පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම සැමට මහෝපකාරී ය. මන්ද පිරිතෙන් සකලාභිවෘද්ධිවර්ධනය කළ නොහැක. එයට තම තමාගේ කර්ම ශක්තියෙන්ද පිටුවහලක් තිබිය යුතුම ය. එම කාරණය තවදුරටත් නාගසේන හිමියන් විසින් ම විස්තර කරයි. අපි විසින් ආහාර ගන්නේ ජීවිතයේ සුරක්‍ෂිතභාවය හා පැවැත්ම පිණිස ය. නමුත් අපි විසින් ගන්නා ආහාර අපේ ජීවිතය පවත්වාගැනීම පිණිස උපකාරී නොවන කාලයක් පැමිණෙන්නේ ය. ආහාර ජීරණය වී ශරීරයේ ගෙවීගිය පටක ‌කොටස් අලුත්වැඩියා කෙරෙමින් පවතින්නේ ටික කලකි. කලකදී කිසිදු අයුරකින් ආහාර දිරවීමට ශක්තිය අප ශරීරය මගින් නොදරයි. මහලු වයසට පත්ව මරණයට ආසන්න වූ රෝගියෙකු ගැන සිහිපත් කරන්න. අවසන, වතුර පොදක් වත් උගුරෙන් පහලට යන්නේ නැති අවස්ථාවක් එයි. පිරිතේ ආනිශංස ද එසේ ය. සියලු සත්වයින්ට එකම අයුරකින් පිරිත් දේශනාවේ ආනිශංස ලැබීමක් බුදුදහම නො පවසයි. මෛත්‍රිය පෙරදැරිව පිරිත් දේශනයක් පවත්වද්දී ඇතිවන ස්වභාවය හා ආනිශංස පිළිබඳව ද මනහර විස්තරයක් එහි පැහැදිලි කෙරෙයි.

"මහරජාණෙනි, පිරිතත් මෛත්‍රී පූර්වාංගමව පවත්වන්නාවුන්ගේ ශබ්දය පැතිරෙන්නේය. දිව වියලෙන්නේය. චිත්තය පෙරළෙන්නේය. නෙළුම් කැකුළක් වැනි හෘදය වස්තුව පෙළෙන්නේය. උගුර බැරැන්ඩි වන්නේ ය. ඒ පිරිත් කියන්නවුන්ගේ පවත්වන ඒ උපක්‍රමයෙන් රෝගීන්ගේ සියලු ව්‍යාධීහු ව්‍යපසමනය වන්නේ සර්වාන්තරායෝ හිරු පැමිණි අඳුරු මෙන් පහවන්නා......... කරන ලද පිරිත් ආරක්ෂාව ඇති පුරුෂයාට දෂ්ට කරනු කැමැත්තා වූ නාගයා දෂ්ට නො කරන්නේය. විවෘත කළ මුඛය පියා ගන්නේය. සොරුන් විසින් තළන්නට ඔසවාගත් මුගුර පවා නො පැමිණෙන්නේය. ඒ සොරුන් මුගුරු දමා ළඟට අවුත් ප්‍රිය වන්නේය. කුපිත වූ හස්තිනාග තෙම ලඟට දිව අවුත් නවතින්නේ ය. දිලිසෙන මහා වහ්නිස්කන්ධය (ගින්න) පවා ලඟට අවුත් නිවෙන්නේය. නොදැන අනුභව කරන ලද විෂ වුව ද අමෘතය බෙහෙත් වන්නේ ය"

. (මිලින්ද ප්‍රශ්නය - පිරිත් ප්‍රශනය කොටස) පිරිත් දේශනාවක සම්පූර්ණයෙන්ම පාහේ අඩංගු වන්නේ පිරිසිඳු බුද්ධ වචනය පමණකි. පිරිත් දේශනාවක කිසිම හේතුවක් නිසාවත් පිරිත සජ්ඣායනා කරනු ලබන භික්ෂූන් වහන්සේලාගේ අර්ථ දැක්වීම් අදහස් දැක්වීම් හෝ අරුත් එකතු කිරීම් අඩංගු නොවේ. එබැවින් ම ධර්ම දේශනාවකට වඩා පිරිත් දේශනාවක් සර්වාර්ථයෙන්ම පවිත්‍ර ය. ධර්ම දේශනාවක් පවත්වනු ලබන භික්ෂුවක් කිසියම් සූත්‍ර කොට්ඨාසයක් මාතෘකාව වශයෙන් ගෙන එම දහම් කරුණු තමන්ට වැටහී ගිය පරිද්දෙන් ශ්‍රාවකයාට පහදා දෙනු ලබයි. සමහර විටෙක එය මුල් දහම් කොටසේ සැබෑ අරුත ම නොවන්නට හෝ වෙනස් වන්නට ද ඉඩ ඇත. අටුවා ආදී ධර්ම ග්‍රන්ථ ද ගුරු තනතුරෙහි තබාගෙන ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේය. නමුත් පිරිත් දේශනාවකදී දේශකයාණන් වහන්සේලාගේ වචනයක් ලෙස භාවිතා වන්නේ ඉහත කී "එතෙන සච්චෙන සුවත්ථි හොතු" යන වචන කිහිපය පමණි. එබැවින් පිරිත යනු පිරිසිදු බුද්ධ වචනය ම බැවින් එය විශේෂයෙන් උතුම් කොට සැලකිය යුතුය.

Read More >

01.සරණාගමන‍‍ං

02. දස සික්ඛාපදානි

03. සාමණෙර පණ්හො

04. ද්වත්තිංසාකාරො

05. පච්චවෙක්ඛණා

06. දස ධම්ම සුත්තං

07. මහා මංගලසුත්තං

08. රතන සුත්තං

09. කරණීයමෙත්ත සුත්තං

10. ඛන්ධ පරිත්තං

11. මෙත්තානිසංස සුත්තං

12. මිත්තානිසංස සුත්තං

13. මොර පරිත්තං

14. චන්ද පරිත්තං

15. සුරිය පරිත්තං

16. ධජග්ග පරිත්තං

17. මහාකස්සපථෙර බොජ්ඣංග පරිත්තං

18. මහා මොග්ගල්ලානථෙර බොජ්ඣංග පරිත්තං

19. මහාචුන්දථෙර බොජ්ඣංග පරිත්තං

20. ගිරිමානන්ද සුත්තං

21. ඉසිගිලි සුත්තං

22. ධම්මචක්කප්පවත්තන සුත්තං

23. මහාසමය සුත්තං

24. ආලවක සුත්තං

25. කසීභාරද්වාජ සුත්තං

26. පරාභව සුත්තං

27. අග්ගික භාරද්වාජ සුත්තං

28. සච්චවිභංග සුත්තං

29. ආටානාටිය සුත්තං

30. ආටානාටිය සුත්තං (II)

01. පිරිත් ආරාධනාව

02. පිරිත් පේ කිරීම

03. ජය මංගල ගාථා

04. මහා ජයමංගල ගාථා

05. ඇණවුම් පිරිත

06. ජින පඤ්ජරය

07. අටවිසි පිරිත

08. අංගුලිමාල පිරිත

09. ජය පිරිත

10. බොජ්ඣංග පිරිත

11. චක්ක පිරිත

12. ගිනි පිරිත

13. වැසි පිරිත

14. වට්ටක පිරිත

15. ජලනන්දන පිරිත

16. චූල ජිනපඤ්ජර පිරිත (දස දිසා පිරිත)

17. අන්තරාය නිවාරණ පිරිත

18. සතර කමටහන

19. මහා සංවේග වස්තු අට

20. මෙත් වැඩීමේ ගාථා

21. රන්දෙණේ ගාථා

22. නරසීහ ගාථා